තුඩැල්ලේ අවතාරය



ඒ අසූ ගණන්වල මුල් හරියේ දවසක්. ජා ඇළ කණුවන හන්දියටත් වෙනද වගේම කරුවල වැටුණා. කාලෙකට කලින් හන්දියේ හිටවපු සුදුපාට පිළිමේ හැන්දෑවේ අඳුරින් නැහැවුණේ අහළ පහළ බල්ලන්ගේ උඩු බිරුම් හඬ වැඩිවෙනවාත් එක්කමයි. කඩපිල්වල ලෑලි දොරපළුවලට අගුල් වැටෙද්දි හන්දියෙන් ඒ පැත්තට මේ පැත්තට හරවපු වාහන ගණනත් අඩු වුණා.ඉඳ හිට හරි හන්දිය පහු කරලා යන වාහනයක් වුණත් පිළිමේ ළඟදි ඉගිළුණේ පුළුවන් තරම් වේගය වැඩි කරලා.

විතාරණ කටුනායක ගුවන් තොටුපොළේ නතර කළ ගුවන් යානයෙන් බහිද්දිම වෙලාව රෑ දොළහට විතර ඇති. අවුරුදු ගාණක් පිටරටක රැකියාව කරලා ලංකාවට ආ විතාරණට ඕන වුණේ කාටවත්ම නොකියා ගෙදරට ගිහින් හැමෝම ම පුදුම කරන්න. රෝල දිගේ ආපු ගමන් මළු දෙකත් අරගෙන ගුවන් තොටුපොළෙන් එළියට ඇවිත් ඊළඟට බැලුවේ කුලීරියක් හොයාගන්න. විතාරණ කතා කරන්නත් කලින් ළඟට ආ රියදුරෙක් අතේ තිබුණු බර ගමන් මළු තමන්ගේ දෑතට ගත්තේ සුහදශීලි විදිහට ඔහු දිහා බලලා හිනාවෙන ගමන්. ටිකක් ඔබ්බෙන් නවතලා තිබුණු රථය දිහාට ගිය රියදුරා ගමන් මළු බිම තියලා තමන් ළඟ තිබුණු යතුරකින් කාරෙක පිටි පස්සේ ඩිකිය විවෘත කළා.

"පොඩ්ඩක් ඉන්න. ඕකේ බිඳෙන දෙයක් තියනවා.මම ඒක අතේ තියා ගන්නං"

රියදුරා දෙවැනි ගමන් මල්ල ඩිකියට පටව්න්න යද්දි විතාරණ කියන්න වුණා. ඊළඟට ගමන් මල්ල විවෘත කරලා එළියට ගත්තේ උඩින්ම තිබුණු පාර්සලයක්. රියදුරා දොර හැර දුන් පසු ඉදිරි පස ආසනයේ වාඩිවුණු විතාරණ උකුලේ තබා ගත්තේ තමන්ගේ පෙම්වතියට මිලදී ගත් සුකුරුත්තම් භාණ්ඩ වගයක් සහිත ඒ පාර්සලය .

රියදුරා රථය පණ ගන්වද්දිම ඉදිරි පස ලාම්පු එළිය වැදිලා හාත්පසම එළිය වුණා.ඊළඟට රථය පිවිසුණේ ගුවන් තොටුපොළ පර්යන්තයෙන් මහපාරට.බොහෝ මගීන් කරනවා වගේම විතාරණත් තමන්ගේ වයසෙම වගේ හිටිය රියදුරත් එක්ක කතාවට වැටුණා. රියදුරා - අනිල් කතාවට දක්ෂයෙක් බව තේරුම් ගන්න විතාරණට වැඩි වෙලා ගියේ නෑ. අනිල් වැඩි පුරම කතා කළේ ලංකාවේ දේශපාලනය ගැන. විතාරණ දේශපාලනයට ඒ තරම් කැමැත්තක් නොතිබුණත් මුඛරි රියදුරාගේ කතාවට ඇහුම් කන් දීගෙන හිටියේ ආසාවකින්. වැඩිමනක්ම කතා බහෙන් ඔහුගේ නිදිමත නැතිවෙන නිසා. රාත්‍රී කාලේ වුණු නිසා පාරේ වාහන ඒ තරම් දකින්න ලැබුණේ නැහැ.ඒ නිසාම රියදුරා රථය ධාවනය කළෙත් බොහොම වේගයෙන්.

ඇතින් ගුවන් තොටුපොළේ විදුලි පහන් වල එළිය පෙනෙන්නේ නැතිව යද්දි විතාරණ්ගේ හිත කාංසියකින් පිරෙන්න වුණා.ඒත් නිවස මතක් වෙද්දි ඇස් පවා එළිය වුණේ ආදරණීය හැඟීම් ගොන්නකින්.

"......ඔව්.......දැන් හැමදේම වෙනස් මහත්තයා.කලබල නං අඩුයි. ඒත් ඒක කොච්චර කාලයක් තියෙයිද දන්නේ නෑ.රජයත් ඉස්සරට වඩා හදිස්සියෙන් තැන් තැන්වලින් මතුවෙන එක එක කල්ලි හැමදේම හොයලා බලනවා.අපට නං සෙතක් නෑ..."

රියදුරු අනිල් ඔහේ කියවගෙන යද්දි විතාරණගේ නෙත් යොමුවුණේ ඩෑෂ් බෝඩ් එක උඩ තිබුණු කැසට් පටි කීපයක් දිහාවට.ඉංග්‍රීසි සින්දු සහිත කැසට් පටි අතරේ තිබුණු එකම එක සිංහල කැසට් පටයක් විතාරණ අතට ගත්තා.

"රුක්මණී දේවි මැරෙනකොට මහත්තයා ලංකාවේ හිටියද?"

දේශපාලන කතාව ටිකකට නතර කළ අනිල් ඇහුවේ අනෙක් පස ආසනේ ඉඳගෙන කැසට්පටිය දිහා ඇස් දල්වගෙන බලා හිටි විතාරණගෙන්.

"නෑ........එතකොට මම මෙහේ නෑ.ඒත් මට ඒ ගැන ආරංචි වුණා.....ඉස්සර මම අහන්නෙම රුක්මණී දේවිගෙ සින්දු. ඒත් කාලෙත් එක්කම ඒක අත් ඇරුණා"

".... ඔය පටියත් රට ඉඳන් ආපු මහත්තයෙක් දාලා ගිය එකක්.මට වැඩිපුරම ඇහෙන්නේ ඉංග්‍රීසි සින්දු තමයි.ගොඩක් වෙලාවට මේකට නගින්නෙත් ලංකාවට එන සුද්දොනේ.අනිත් එක මහත්තයා දන්නවද? රුක්මණී දේවි ඇක්සිඩන්ට් වුණෙත් තව ටිකක් ඉස්සරහ.මම යනකොට මහත්තයට පෙන්නන්නම්කො"

රියදුරා තවත් ගියරයක් මාරු කරන ගමන් කියන්න වුණා.

"මම දැනන් හිටියේ ඇක්සිඩන්ට් වෙලා මැරුණා කියලා විතරයි.මේ හරියේ කියලා දැනගෙන හිටියෙ නෑ"

විතාරණ එහෙම කිව්වේ අතේ තිබුණු කැසට් පටිය ඩාෂ්බෝඩ් එක උඩට විසි කරන ගමන්.ඒත් ඉලක්කෙ වැරදුණු නිසාදෝ කැසට් පටිය ප්ලාස්ටික් ආවරණයේ වැදී වැටුණේ විතාරණගේ දෙපතුළ ළඟට. අතේ තිබුණු පාර්සලය නිසා බිම වැටුණු කැසට් පටිය ගන්න විතාරණට අමාරු වුණා.

"කමක් නෑ මහත්තයා. ඕක බැස්සට පස්සේ අහුලලා තියන්න පුළුවන්නේ.මහත්තයා පාර්සලය පොඩි කරගන්නෙ නැතුව ඉන්න"

කළුවරේ බිම අතපත ගාන විතාරණට රියදුරා කිව්වා. අනිල්ගේ හඬින් විතාරණ ආයෙමත් බාගෙට ඇරලා තිබුණු ජනෙල් වීදුරුව තුළින් ඈත් කරුවල දිහා බලාගෙන ඉන්න වුණා. අත් ඔරලෝසුව දෙස බැලූ රියදුරාට පෙනුණේ පාන්දර දෙකට මිනිත්තු කිහිපයකට වඩා නැති බව.

පාර දිගට පිහිටලා තිබුණු උස් පහන් කණුවලින් නිකුත්වුණේ මලානික එළියක්.ඒ ආලෝකය පවා උත්සාහ කළේ හිතේ කාලකන්ණිකමක් ඇති කරන්න.සමහර වෙලාවට අයිනේ තිබුණු රූස්ස ගහක අඳුරු සෙවණැල්ල තාර පාරේ පදාසයක්ම වසාගෙන තිබුණා. රථයේ විදුලි පහන්වලින් වත් අඳුර මකාදමන්න ඒ තරම් සෙතක් ලැබුණේ නෑ.පසු බිමෙන් ඇහුණු මෝටර් රථයේ ශබ්දයත් විතාරණගේ හිතට ගෙන ආවේ කරදරකාරී හැඟීමක්. ඒ නිසාමදෝ හිස ඇල කරලා ජනෙල් වීදුරුවට හිස තියා ගත් විතාරණ නිදා ගන්න උත්සාහ කළා. තමන්ගේ දේශ්පාලන කතා නතර කළ රියදුරා තවත් වේගයෙන් රිය පදවමින් හිටියා.

ජනේලයට හිස තියාගත්තත් බාගෙට ඇරපු වීදුරුව තුළින් පෙරිලා ආ හීතල හුළඟ විතාරණට නිදා ගන්න ඉඩ දුන්නේ නැහැ. පපුව පුරාම හිරිගඩු නැංවුවත් මොකද්දෝ හේතුවකට වීදුරුව වහන්න විතාරණ අකමැති වුණා.ඒ වෙනුවට තමන්ව පහුකරලා වේගයෙන් පසු පසට ඇදිලා යන අඳුරු සෙවණලි දිගා බලාගෙන විතාරණ සුසුම්ලන්න වුණා.තවත් මිනිත්තු කිහිපයක් ගතවෙන්න ඇති.රථය ළංවෙලා තිබුණේ තුඩැල්ල හන්දියට.

"මෙතන තමයි මහත්තයා තැන. අර හරියෙදි තමයි රුක්මණී දේවි ගිය වාහනේ හැප්පිලා තියෙන්නේ"

අනිල් එහෙම කියද්දි විතාරණ බාගෙට පියවෙලා තිබුණු ඇස් ඇරලා බැලුවා.මුලින්ම පෙනුණේ සුදු පාට ගාපු පිළිමයක්.සාරියකින් සැරසිලා තිබුණු පිළිමේ අඩ අඳුරේ දී වුණත් රුක්මණී දේවිගේ බව අඳුර ගන්න විතාරණට අමාරු වුණේ නැහැ.කැරලි කැරලි කොණ්ඩය බෙල්ල දෙපැත්තෙන් වැටෙන විදිහට ස්කස් කරලා තිබුණේ.සෘජු විදිහට ඈත බලා ඉන්න පිළිමේ විතාරණගේ හිතේ ඇති කළේ ගුප්ත හැඟීමක්.තමන්ගේ පාමුල වැටිලා තියන කැසට් පටය ආයෙමත් සැරයක් විතාරණගේ සිහියට නැගුණා. ඒ කැසට් පටයේ කටහඬ හිමි කාරියගේ පිළිමය තමන් ඉස්සරහින්!!! එක මොහොතකට විතාරණගේ ඇස් ගිණිකන වැටුණේ පිළිමේ සිටවපු දිලිසෙන කළුපාට ආධාරකයේ වැදිලා පරාවර්තනය වුණු වාහනේ ම පහන් එළිය ඇස් දෙකට වැටීමෙන්.

ඒත් එක්කම ජා ඇළ ගම්පහ පාරට හරවපු මෝටර් රථය ඉගිලෙන්න වුණා.අනිල් මුකුත්ම කතා නොකට තදින් සුක්කානම අල්ලගන්න හැටි විතාරණ දැක්කා. ඒ හිතේ තමන්ට නොකියවුණු දෙයක් ඇති බව විතාරණට නොදැනුණා නෙමෙයි.

තව වතාවක් හැරී වාහනයේ පිටුපස කවුළුව තුළින් බැලූ විතාරණට පෙනුණේ පසුවී යන නිසොල්මන් පිළිමය .

ලොකු හුස්මක් හෙලා පපුව සැහැල්ලු කරගත් විතාරණ හෙමින් සැරේ ආපසු හැරුණා. ඒත් ...............ඒත් ....එක මොහොතකට දකින්න ලැබුණු දෙයකින් විතාරණ ගල් ගැහුණා.දකුණු පැත්තේ රියදුරු ආසනය මත හිඳ සිටි අනිල්ගේ මුව බාගෙට විවර වී තියෙබ බව දැක්කෙ ඇස් කොණෙන්.දුබල වුණත් වාහනයේ ඉදිරි පස පහන් එළිය වැදී ඇගේ සුදු සාරිය දිලිසුණා.තමන් තත්පර කිහිපයකට කලින් දුටු ප්‍රතිමාවේ රූපයම වාහනයට ඉදිරියෙන් පාර හරහා මාරු වෙන හැටි ඔහුට දකින්න ලැබුණේ එක නිමේෂයකට විතරයි.

ඒත් කැරලි වැටුණු කොණ්ඩය බෙල්ල දෙපැත්තෙන් බේරෙන හැටි, හිස ඔසවා බැලූ සෘජු බැල්ම එකට තදවූ දෙතොල් යුග විතාරණගේ ඇස් වලින් වහන් වුණේ නැහැ.තවත් මොහොතකින් වාහනයට යටවන්නට යන කාන්තා රූපය බේර ගන්න රියදුරු - අනිල් තද කළ තිරිංගවල ප්‍රබලත්වය විතාරණට දැනෙන්න වුණේ මෝටර් රථය පාර පුරා කැරකෙමින් යන්නට වූ නිසා.පාර පුරා ඇතිල්ලුණු ටයර් වල ශබ්දය හිතට ඉඟි කළේ අවිනිශ්චිත මරණය.වාහනයේ හිඳ සිටි ආසනය තදින් අල්ලාගෙන සිටි ඔහුට පෙනුණේ ඒ මේ අත වැටෙන රථයේ ලාම්පුවල එළිය. තවත් තත්පරකිහිපයක් ඇතුළත විතාරණට ඇහුණේ රථය මහ හඬක් නගමින් ගහක වැදුණු ශබ්දය.ඒ එක්කම ඉදිරි වීදුරුවත් බිඳගෙන විසිවුණු ඔහු නතර වුණේ මහ පාර මැද. නළලෙන් ගලා ගිය ලෙයින් තාර තෙත්වෙන බව විතාරණට දැනුණා.ගසේ වැදී නතරවුණු මෝටර් රථයේ පහන් එළිය විතාරණ හිටි තැනට වැටිලා තිබුණු අතර ඒ එළියෙන් දිලිසුණේ පාර පුරා විහිදුණු වීදුරු කැබලි.
විතාරණ උත්සාහ කළේ හෙමින් සැරේ ඔළුව උස්සලා බලන්න.ඒත් ඒක සෑහෙන්න අමාරු බව ඔහුට වැටහුණා. නොනවත්වා ගලා යන රුධිරය නතර කරගන්න අතින් නළල තදකරගත් ඔහුට පිටුපසින් ඇහුණේ කෙනෙක් හෙමින් සැරේ පියවර තියමින් එන හඬ. ඔව්........ඒ පාවහන් වලට බිඳුණු වීදුරු කටු තදවෙලා.......තව තවත් බිඳෙන හැටි ඇහුණා.හිත භීතියට පත් කරමින් පාවහන් හඬ විතාරණගේ පිටුපසින් නැවතුණා.ඒත්..........ඒ කෙනාගේ සෙවණල්ලක් තමන්ගේ ඉස්සරහට වැටිලා තියෙන හැටි නම් විතාරණ දැක්කේ නැහැ.


තාරපාරට තද වෙලා තියන පපුව ඇතුළේ ගැහෙන හදවතේ රිද්මය එන්න එන්නම වැඩිවෙන අතරේ ආයෙත් පියවර හඬ විතාරණ පහු කරමින් ඉදිරියට ඇදෙන්න වුණා _ බොහොම හෙමින්. සිහි විසඥ වෙන්න මොහොතකට කලින් ඒ ඇස්වලට බොඳ වෙවී පෙනුණේ හෙමින් සැරේ ඇදිලා යන කාන්තාවකගේ ඔප දැමූ කළු පැහැ උස් අඩි පාවහන්. හෙමින් හෙමින් ඇදුණු පියවර, පාරේ ඉස්සරහට වෙන්න වැටිලා බිඳිලා ගිහින් තිබුණු තමන්ගේ පෙම්වතියට ගෙනාව පාර්සලය උඩින් යන හැටිත් විතාරණ බලාගෙන හිටියා. ඒ පාවහන් පසුපස බිම දිගේ ඇතිල්ලෙමින් යන සුදු සාරි පොට බොඳවෙමින් පෙනෙන විට විතාරණගේ දෑස් පියවුණේ මුළු ලෝකයම අඳුරු කරමින්.

දවස් කිහිපයකට පස්සේ විතාරණට සිහිය එනවිට රියදුරු අනිල් ජීවතුන් අතර හිටියේ නැහැ.ඔහු අනතුරු සිදුවුණු වෙලාවෙම මිය ගිහින් තිබුණා.අනතුරට හේතුව දැන සිටියේ විතාරණ විතරයි. ඒත් .......... ඊට සමාන මරණීය අනතුරු කිහිපයක් ඒ ඉසව්ව පුරා සිදුවෙනතුරු විතාරණගේ ප්‍රකාශය විශ්වාසකරන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. අනතුරුවලින් ජීවිත බේරාගත් බොහෝ දෙනක්ට දකින්න ලැබිලා තිබුණේ සුදු සාරියකින් සැරසුණු කාන්තාවක්. කාලයක් යනතුරුම සාරියකින් සැරසුණු ඈ රෑ යාමයේ සක්මන් කළා - ප්‍රතිමාව ඉවත් කරන තුරුම.

මියගිය පෙම්වතා මහ රෑ කනත්තේදී සුසිලා හමුවෙයි



සුසිලා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම රූමත්ය. තැන්පත්ය. සුමිත් ඇයගේ පෙම්වතාය. එහෙත් සුසිලා කසාද බැන්දේ ලක්සිරිවය. ඒ ඇයගේ මවුපියන්ගේ ඒකමතික තීරණයකට අනුවය. ඒ අනුව සුසිලාට සිත හදාගන්නට සිදු වූයෙන්. අකැමැත්තේ, අමාරුවෙන් හෝ ඇය එයට හුරුවන්නට වූවාය.


සුසිලාත්, ලක්සිරිත් පදිංචිව සිටියේ කොළඹට සැතපුම් දොළහක් පමණ එහායින්ය. කාලය මාස තුනක් දක්වා ඇදී ගියේය. ලක්සිරි වැඩ ඇරී කොළඹ සිට හෝමාගමට ගමන් කළ අවසන් බස්රථයේ පැමිණ නිවෙසට එමින් සිටියේය. ඒ මධ්‍යම රාත්‍රියේය. ඔහු සෙමෙන් තම වත්තට ඇතුළුවන කුඩා ලී ගේට්ටුව ඇර ඇතුළු විය. එහෙත් දොරටුව අසලට කිට්ටු වන්නට ඔහු තරමක් මැළි කළේය. මන්දයත් ප්‍රධාන දොරටුව ඉදිරිපස තනි පඩිය හරහා තඩි කළු බල්ලෙක් නිදාගෙන හුන්නේය. පහත් වී අතට අසුවූ වව්ලන් කා දමන ලද අඹ ඇටයකින් බල්ලාට දමා ගැසුවේය. බල්ලා ඉවත් වුණේ නැත. ඌ නොපෙනී ගියේය. අඳුර නිසා එහි අමුත්ත ලක්සිරිට දැනුණේ නැත.


තවත් දින දෙක තුනක් ගෙවී ගියේය. එහෙත් ලක්සිරි අමුතු ප්‍රශ්නයකට මුහුණදෙමින් සිටියේය. ඒ සුසිලා රාත්‍රියට නින්දෙන් ඇවිදීමට පටන්ගෙන තිබීමය. බැරිම තැන සුසිලාගේ මව පැමිණ එහි නතර වූවාය. ඇය සුසිලාගේ හොල්මන් ගමනට වැටබැන්දේ සෑම ‍ෙදාරකඩකම මෙන්ම නිදන ඇඳ පාමුලද තෙත් කරන ලද රෙදිකඩමාලු එළා දමමිනි. දැන් සුසිලාගේ කල්ක්‍රියාව යළි යහපත්ය.


සුපුරුදු පරිද්දෙන් ලක්සිරි රාත්‍රි වන තුරු සේවයේ යෙදෙමින් සිට ගෙදරට එමින් සිටියේය. මහපාරෙන් වමට හැරී ඊට අඩි කිහිපයක් ඉදිරියෙන් ඇති තම නිවෙසට කිට්ටු වෙමින් සිටියේය.
"සුසිලා සනීපෙන්ද.....?
ලක්සිරිට යකා නැග්ගේය.


"අහගනිං තොගේ......." ඔහු අඩියට දෙකට ගොඩවුණේ තවත් ප්‍රශ්නයක් ඔළුවට දාගනිමිනි. "හීනෙන් ඇවිද්දා මදිවට රස්තියාදුකාරයොත් මට දැන් කොලොප්පම් කරන්න පටන් අරන්..." යැයි වරෙක ඔහු සිතුවත් සැකයකට තුඩුදෙන ඊට එහා දෙයක් ගැන ඔහුගේ සිත නළියන්නට පටන් ගත්තේය. තවත් විනාඩි කිහිපයක් කල්පනාවේ ගිලී සිටි ඔහුට ඇසුණේ 'සරස්' හඬින් වහලයට වැලි අහුරක් දමා ගැසුවාක් මෙන් හඬකි. සිතට නැඟුණු කෝපයත් සමඟ ඔහු වහා නැඟිට ගොස් දොර ඇරියේ ඇඳ පොල්ලක්ද අතැතිව. තම නිවෙස ඉදිරියේ කළු තඩි බළලුන් දෙතුන් දෙනෙකුත්, කළු බලු තඩියකුත් මිදුලේ එහා මෙහා ඇවිදිමින් සිටියේ ඇස්ගෙඩිවලින් ගිනිපේළි වැනි පෙනුමක් විහිදුවමින්ය. එවර එම තත්ත්වය නිසිලෙස වටහාගත් ලක්සිරි වහා දොර වසා දමා රෑවෙනතුරු නිදිවරමින් සිටියේ කාගේත් ආරක්‍ෂාවටය. ඒ අතරේ ඔහුට "දඩස්......දඩස්" හඬින් ඉදිරිපස දොරට යමෙක් ගැටෙන හඬ ඇසුණේය. නියත වශයෙන්ම ඒ අර කළු බළල් තඩියන්ය. නැතිනම් බලු තඩියාගේ වැඩක් බව ඔහු දන්නේය.


පසුවදාම ටික දිනකට තම මහ ගෙදරට යෑමට තීරණය කළත් සුසිලාගේ ඒකමතික තීරණය වූයේ එසේ නොවිය යුතු බවය. මේ කිසිවක් නොදත් සුසිලා සහ ඇයගේ මව සිටියේ එකම මතයක නිසා රාත්‍රියේ සිදුවන සිදුවීම් ගැන විමසිලිමත්ව සිටීමට ඔහුට සිදුවිය.


සුපුරුදු බසයේ පැමිණ හයිලෙවල් පාරේ බැස දකුණු පස ඇති ප්‍රධාන මාර්ගයේ තවත් සැතපුමක් පමණ ඔහුට පයින් යෑමට සිදුව ඇත. එම මාර්ගයේ සැතපුම් භාගයක් පමණ ගෙවූ කල හමුවන්නේ ගමේ කැරකොප්පුවය. ඔහු එය පසුකරමින් සිටියේය. එදින සවස වළදැමූ මිනීවළ මත තවමත් පහනක් දැල්වෙමින් ඇත. එය මෙතෙක් වේලා දැල්වෙමින් තිබුණේ කෙසේදැයි ඔහුට ප්‍රශ්නයකි. එමෙන්ම ඉන් නිකුත්වෙමින් තිබූ මලානික එළිය ඔහුගේ සිතට එක්කළේ මූසල හැඟීමකි. ඒ සමඟම ඇදීගිය සිහිල් සුළං රැල්ල හරහා ඔහුගේ නහයට එක්වුණේ 'කට්ටකුමංජල්' සුවඳකි. ඒ ක්‍ෂණයකින් ඔහුගේ දෙපා ලහිලහියේ ඉදිරියට ඇදුණේ අනිවාර්යයෙන්ම කනත්ත තුළ කට්ටඩියකුගේ යම් රාජකාරියක් සිදුවන බව තේරුම් ගනිමිනි.


වේලාව රාත්‍රි දොළහයි තිහට පමණ ඇත. ගේට්ටුවෙන් ඇතුළුවන ලක්සිරිගේ සියොලඟට සීතල යාන්තමෙන් දැනුණි. සුසිලා රෑ ඇඳුම පිටින්ම මිදුලේ ඔබ මොබ සක්මන් කරමින් සිටි අතර ඇයගේ තනියට මෙන් තඩි කළු බළල් තඩියකුද එහාමෙහා ඇවිදමින් සිටිනු ඔහු දුටවේය. අඩියට මිදුලට පැනගත් ඔහු ඇයගේ කෙස්වල්ලෙන් අල්ලාගෙන ගෙට ඇදගෙන ගොස් 'දඩස්' ගා දොර වසා දැමුවේ මවටද දොස් තබමින්ය. එහෙත් මව සිටියේ ඒ මොහොත වන තුරුත් තද නින්දේ ගොරොද්දේ අදිමිනි.


දැන් දැන් ලක්සිරිට ඒත්තු ගැනෙන්නේ මේ සියල්ලක්ම 'හොල්මන් වැඩ' විය යුතු බවය. මේ සියල්ලන් ගැන කල්පනාවෙන් හා වෙහෙසට පත්ව සිටි ඔහුගේ දෑස් ඉබේම පියවී ගියේය. එහෙත් තවත් මොහොතකදී නින්දෙන් ඇහැරුණු ඔහු දුටුවේ සුසිලා තමන් අසල තියා නිවෙසේවත් නැති බවකි. ඔහු තම නැන්දම්මා කූද්දන්නට බැලුවත් ඇය සිටියේ ද දතකට පූට්ටු වෙලාය. ඒ ක්‍ෂණයකින් ඔහු පාරට පැන්නේ ඇඳ පොල්ලක්ද අතට ගෙනය. පාර දෙපස විපරම්කර බැලූ ඔහුට පෙනුණේ සුසිලා මහාමාර්ගයේ බොහෝ දුරක් ඈතට යමින් සිටින අයුරකි. හැකිතාක් වෙරගෙන ඇය පසුපස හඹා ගියත් සුසිලා අරලියගස් සෙවණක් යටින් දකුණට හැරුණාය. ලක්සිරිගේ සියොලඟම දහදියෙන් තෙත්ව ගියේ එය කැරකෝප්පුව බව දන්නා නිසාය. නමුත් ඔහු ඊට ළඟාවෙන විට බොහෝදේ සිදුවී හමාරය.


අලුත වළදාන ලද දෙණ සහිත වළ මත සුසිලා වාඩිවී සිටි අතර ඇයගේ අතකින් අල්ලාගෙන තරුණයෙක් පෙම්බස් ‍දොඩමින් සිටින අයුරක්ද ඊට නුදුරින් පිදේනි තට්ටුවකට මතුරමින් සිටි කට්ටඩියකු ද සිටි අතර මේ නම් තමා කලින් දුටු කට්ටඩියාම විය යුතු බව ඔහුට සිතුණි. යක්කු සමඟ කළ හැකි සෙල්ලමක් නොදත් ලක්සිරි කනත්තේ අරලිය ගස් යායේ බඩගාමින් වෙන දේ බලා සිටියේ මහත් අසරණවය.


පැයකට ආසන්න කාලයක් තරුණයා සමඟ දොඩවමින් සිටි සුසිලා නැවත නිවෙස කරා ඇදීගියේ කළු බලුතඩියෙකුගේ මඟපෙන්වීම හා ආරක්‍ෂාව යටතේය. අමනුස්ස බලුතඩියා ගැන ඇති වූ බිය නිසාම අසල්වැසි වත්තක මුවා වී කල්මැරූ ඔහු එළිවෙන ජාමයේ ගෙට රිංගා ගත්තේය.
සුසිලා මේ කිසිදෙයක් ගැන අල්පමාත්‍රයකවත් හැඟීමක් පළනොකොට තම දෛනික දිනචර්යාවේ යෙදීම ලක්සිරිගේ අනුකම්පාවට හේතු විය. තවදුරටත් එම නිවෙසේ වාසය කිරීම අතහැර දැමූ ඔවුහු ඔහුගේ මහගෙදරට තාවකාලිකව පදිංචියට එක්වූහ. ගෙවීගිය සති කිහිපයකට පසුව ලක්සිරි හමුවීමට අමුත්තෙක් පැමිණියේය. ඒ වෙනකකු නොව සුසිලාගේ මුල් පෙම්වතා වූ සුමිත්ගේ බාල සොහොයුරාය.


තමන්ගෙන් මිදී ලක්සිරිගේ අතගත් සුසිලා කෙරෙහිත්, මුළුමහත් සමාජය කෙරෙහිත් කලකිරීමෙන් පසු වූ සුමිත් ඊට වන්දිගෙවා ඇත්තේ තම ජීවිතයෙනි. තම පුතුගේ වියෝව දරාගත නොහැකිව සිටි සුමිත්ගේ පියා යක්‍ෂාවේශ වූයේ සුසිලාගෙන් පළිගන්නටය. දකුණේ නමගිය යකැදුරකු වූ සුමිත්ගේ පියා අවසානයේ කුළුබඩු වෙළෙන්දෙකුගේ වේශයෙන් සුසිලා පදිංචිව සිටි නිවෙස අසලම කාමරයක් කුලියට ගෙන සිටියේ රාත්‍රියේ අපූරු යුතුකමක් ඉටුකරමින්ය.


මධ්‍යම රාත්‍රිය ළඟාවන විට හොර රහසේ අසල කනත්තට රූටන ඔහුගේ එදින රාජකාරියේ මූලිකම දේ වන්නේ තම පිල්ලිව සේ යොදාගත් බලු තඩියාගේ මඟපෙන්වීම යටතේ සුසිලා කනත්තට ගෙන්වා ගැනීමය. ඊළඟ මොහොතේ සුමිත්ගේ මියගිය ආත්මය ගෙන්වා සුසිලා සමඟ පෙම්බස් දොඩවමින් තම පුතුගේ උත්තරීතර ප්‍රේමයේ රසය විඳින්නට කටයුතු කරමින් සිටියේය. එය ඔහුගේම අදහසින් පවසන්නේ නම් එසේ කළ හැකි වනුයේ ඔහු මියගොස් මාස තුන සම්පූර්ණවන තෙක් පමණක් බවය. ඒ අනුව එම දිනය සම්පූර්ණ වන්නට තිබුණේ තවත් දින කිහිපයක් පමණි. මේ වන විටත් තම පුතුගේ ආසාව ඉටුකරදී තිබූ ඔහුගේ ඊළඟ ප්‍රයත්නය වී තිබුණේ සුසිලාගේ සිහිවිකල් කර දැමීය. එහෙත් වාසනාව හා බුද්ධිය මුසුවූ ලක්සිරිගේ දෛවය ඒ සියල්ල වෙනස්කර දැමීමට සමත් විය. ඔහු හැකිතාක් තම වෙරයොදා සුසිලා ආරක්‍ෂා කර ගන්නට කටයුතු කළේ මේ සියලුම දේ රහසක් කොට රකිමිනි.


එමෙන්ම තම පියාගේ අනුවණ ක්‍රියාව ගැන බාල පුතුගේ උකුසු ඇසට ලක්වීම කාගේ කාගේත් වාසනාව විය. ඔහුගේ අභියෝගය හා තර්ජන හමුවේ තම පියා මෙල්ලකරගත් ඔහු තම වැඩිමහලු සහෝදරයාගේ පෙම්වතිය වූ සුසිලා ආරක්‍ෂාකර ගැනීමේ පරම පවිත්‍ර සහෝදරත්වය මුල්කර ගෙන කටයුතු කරමින් සිටියේ ලක්සිරිගේද පැසසුමට ලක්කරමිනි.
මෙවන් විශ්වාස කළ නොහැකි තරමේ හැකියාවක් දක්‍ෂතාවක් පෙන්නුම් කළ විශ්වකර්ම යකැදුරන් අප සමාජයේ සිටි නමුත් ඒවා පැසසුමට හෝ ගෞරවාදරයට පත්නොවී යටපත්ව ගියේ ඉන් සමාජයට සිදුවන අයහපත නිසා බව ලක්සිරි අදටත් සිහිකරන්නෙ මේවා වත්මන් පරපුරට නම් කොලොප්පමක විය හැකි පවසමිනි.



author

මෙම ලිපිය රචනා කලේ :


මළවුන්ගේ හෝරාව(Malaunge Hoorawa)


හොල්මන් හෝටල ඇමෙරිකාවේත්


මළගිය ආත්මයන්ගෙන් එල්ල වන බලපෑම්, ඒවායේ ක්‍රියාකාරිත්වය හා හොල්මන් පිළිබඳ විශ්වාසයන්ට පෙර අපරදිග බේදයක් නැත.

එංගලන්තයේ ඓතිහාසික වටිනාකම් සහිත බොහෝ ස්ථානයන්හි හොල්මන් ගැවසෙන බව මාධ්‍යවලින් නිතර පැවසෙයි. පසුගිය දා අන්තර්ජාලයෙන් අපට දැනගත හැකි වූයේ අමෙරිකාවේ හොල්මන් ගැවසෙතැයි විශ්වාස කෙරෙන සංචාරක හෝටල කිහිපයක තොරතුරුය.

අමෙරිකාවේ ආර්ක් ප්‍රදේශයේ යුරේකා ස්ප්‍රින්ග්ස් හි පිහිටා තිබෙන ‘ක්‍රෙසන්ට් හොටෙල් ඇන්ඩ් ස්පා’ ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. එම ගොඩනැඟිල්ල 1886 දී ඉදිකළ එකක් වන අතර හෝටලය ඉදිකිරිමට පෙර එහි පාසලක් ද, පිළිකා රෝහලක් ද පවත්වාගෙන ගොස් තිබේ. මෙම හෝටලයේ පිළිගැනීමේ කවුන්ටරයේ පොතක් තබා ඇත්තේ සංචාරකයන් හොල්මන් පිළිබඳ ලබන අත්දැකීම් ලියා තබනු පිණිසය.

කාමර අංක 218 හැසිරෙන සෙල්ලක්කාර හොල්මන තරුණ අයර්ලන්ත ජාතික මයිකල්ගේය. මාවතේ ගමන් කළ සුන්දර යුවතියක දෙස සඳලුතලයෙන් මාවතට පමණටත් වඩා නැඹුරුවී බලද්දී මයිකල් බිමට ඇද වැටී මියගොස් ඇත්තේ මෙයට වසර ගණනාවකට ඉහතදීය.

සෙල්ලක්කාරයකු ලෙස ඇවිද අංක 218 කාමරයට ඇතුළු වන, සංගීත රාවයන්ට අනුව නටන මයිකල් ගේ හොල්මන එම හෝටලයට පැමිණෙන බොහෝ සංචාරකයන් දැක තිබේ.

එම ගොඩනැඟිල්ලේ පිළිකා රෝහල පවත්වාගෙන ගොස් තිබෙන්නේ 1930 සහ 1940 දශකවලදීය. එම කාලය ඇතුළත ගොඩනැඟිල්ල තුළ මියගොස් ඇති රෝගීන් ගේ ගණන 300 ඉක්මවන බව පැවසෙයි. ඊට අමතරව රෝහල පාලනය කළ දොස්තර බේකර් ද හෙද හෙදියන් කිහිප දෙනකු ද රෝහල ඇතුළතදීම මිය ගිය බව සැලකේ. ඔවුන්ගේ අවතාර ද වරින් වර දැකගන්නට ලැබුණ බව වාර්තා වී ඇත.

කාමර අංක 419 දී දැකගන්නට ලැබෙන අයිරීන් කාසල්ගේ අවතාරය ද සංචාරකයන් අතර ප්‍රකටය. ඇය ප්‍රකට නර්තන ශිල්පිනියකි. ජීවිතයේ අවසාන භාගයේ වැඩි කාලයක් හෝටලයේ අංක 419 ගත කර ඇති අයිරීන් මියගොස් තිබෙන්නේ 1969 දීය. මෑතකදී මව්පියන් හා කුඩා දැරියක එම කාමරයේ නවාතැන් ගෙන තිබේ. දැරිය කිසිවකු සමඟ කතාකරන බව හැඟුණ ද මව්පියන්ට තවත් අයකු කාමරයේ සිටින බව පෙනී නැත. පසුව දැරියගෙන් කළ විමසුම්වලට ඇය දුන් පිළිතුරු අනුව හැඟී ගොස් ඇත්තේ අයිරීන් කාසල් ගේ අවතාරය දැරියගෙන් සුව දුක් විමසා ඇති බවය.

ඔහියෝ ප්‍රාන්තයේ ග්‍රෑන් මිලෙ හි ‘බක්ස්ටන් ඉන්’ අමෙරිකාවේ හොල්මන් සඳහා වඩාත් ප්‍රකට තවත් හෝටලයකි. වසර 199ක් පැරැණි ගොඩනැඟිල්ලක පවත්වාගෙන යන මෙය වැඩියෙන්ම හොල්මන් ගැවසෙන හෝටල් 10 අතුරින් එකක් ලෙස ට්‍රිප් අඩ්වයිසර්.කොම් වෙබ් අඩවියේ දක්වා තිබේ.

පළමුව 1812 දී එම ගොඩනැඟිල්ලේ පවත්වාගෙන ගොස් ඇත්තේ තැබෑරුමකි. 1865 – 1902 අතර කාලය ඇතුළත ගොඩනැඟිල්ලේ හිමිකරුවා වී සිට ඇත්තේ මේජර් බක්ස්යන්ය. ඔහුගේ අවතාරය හෝටලයේ පළමු මහලේ වරින් වර දර්ශනය වන බව පැවසෙයි.

1934 – 1960 දක්වා කාලයේ ගොඩනැඟිල්ලේ හිමිකාරිය වී සිට ඇත්තේ එතල් බෞෆෙල්ය. ඇගේ ප්‍රියතම විලවුන් වර්ගයේ සුවඳ සෑම රාත්‍රියකම පාහේ හෝටලයේ ප්‍රධාන ශාලාවේ ගැවසෙන අයට දැනෙන වගද පැවසෙයි.

ඩෙන්වර් හි ‘ද බ්‍රවුන් පැලස් හොටෙල් ඇන්ඩ් ස්පා’ ද අමෙරිකාවේ හොල්මන් සඳහා ප්‍රකට තවත් හෝටලයකි. එය පවත්වාගෙන යන්නේ හෙන්රි සී.බ්‍රවුන් නමැත්තකු 1892 දී ඉදිකළ ගොඩනැඟිල්ලකය. 1930 දශකයේ එහි උඩුමහලේ කුලියට විසූ ලුවිස් ක්‍රෝෆෝඩ් ගිල් ගේ අවතාරය මෙහි සැරිසරන අවතාර අතරින් වඩාත් ප්‍රකටය. ඔහු වැඩියෙන් භාවිත කළ කාමරය අද හෝටලයේ අංක 904යි ඊට සංචාරකයකු ඇතුළු වූ වහා පිළිගැනීමේ කවුන්ටරයේ දුරකතනය නාද වන බවත් රිසිවරය එසවූ විට අනෙක් පසින් කිසිවකු කතා නොකරන බවත් හෝටල සේවකයෝ පවසති. ඒ තම කාමරයට පිටස්තරයන් ඇතුළුවීම නුරුස්සන බව හිල් දක්වන ආකාරයයි. එහෙයින් හෝටල පාලනාධිකාරිය අත්‍යවශ්‍යම අවස්ථාවක මිස අනෙක් අවස්ථාවන්හි අංක 904 කාමරය සංචාරකයන්ට ලබාදීමෙන් වැළකී සිටියි.

ලොස් ඇන්ජලිස් හි ද ටයිර්ට්ලස් ප්ලාන්ටේෂන් හා සැන් ඩියාගෝ හි හොටෙල් ඩෙල් කොරොනාඩෝ ද හොල්මන් සඳහා නමගිය හෝටල වෙයි. මයිර්ට්ලස් හෝටලයේ ප්‍රකටම අවතාරය බෝලෝ නමැති කළු වහල් කාන්තාවයි. නිවෙසින් පලාවිත් පෙම්වතා පැමිණෙන තුරු හෝටලයට වී පමා වූ කේට් මෝර්ගන් කොරොනාඩෝ හෝටලයේ ප්‍රකටම අවතාරයයි. 1892 දී එසේ පැමිණි ඇය දින ගණනාවක් බලා සිට පෙම්වතා නොපැමිණෙන බව අවබෝධ වූ පසු දිවි නසාගෙන තිබේ.

වරින් වර මෙම අවතාර සංචාරකයන්ට දර්ශනය වුවත් මේ හෝටල පහේදීම ඒවායින් සංචාරකයන්ට අවහිරයක් බාධාවක් ඇතිවූ බවක් මෙතුවක් වාර්තා වී නැත.



author

මෙම ලිපිය රචනා කලේ :


මළවුන්ගේ හෝරාව(Malaunge Hoorawa)


ඇයි මල්ලියේ මට ලේ නොදුන්නේ?


පුද්ගලයකු තවත් පුද්ගලයකු කෙරෙහි බද්ධ වෛරයෙන් යුතුව ජීවත් වේ ද ඔහුගේ මරණාසන්න අවස්ථාවේ ඒ වෛරී සිතුවිල්ල උපාදාන වී චුති චිත්තයවශයෙන් මරණාසන්න අවස්ථාවේ දී ක්‍රියාත්මක වූයේ නම් හේ එම වෛරයෙන් ම දුගතිගාමී වී පුනර්භවය ලබයි. ඒ පළිගැනීමේ චේතනාවෙන් අවුරුදු දහස් ගණන්, දස දහස් ගණන් සසරේ දුක් විඳිමින් සැරිසරති. එසේ වෛරයට පාත්‍ර වූ පුද්ගලයා ආධ්‍යාත්මිය වශයෙන් ශක්තිමත් වූයේ ද පළි ගැනීම සඳහා පසු පසින් එන දුගතිගාමියා සිය පරමාර්ථය ඉටු කැර ගත නොහැකිව වෛරී ගින්නෙන් දැවි දැවී තව තවත් දුක් විඳී.

එවැනි දුගතිගාමී වෛරී භූතාත්ම මන්ත්‍ර විද්‍යාවන් මඟින් අල්ලා බෝතල්වල දමා සිර කොට කොන්ක්‍රීට් බදාම අහුරා මුහුදේ දමන බව යකැදුරෝ පවසති. එය ද මහා පාපයකි. එය එසේ කළ හැකි වුවද නොහැකි වුව ද එම චේතනාව පවා මහා පාපයකි. එවැනි භූතාත්මවල ඉපැදී සිටින්නේ ද අප සමඟ ජීවත් වූ ඥාතින් හෝ සංසාර ගත ඥාතින් බව සිහි කටයුතුය. එවැනි දුගති ගාමී භූතාත්ම පිනට දහමට යොමු කොට, පෙර කුසල් මතු කොට සුගතිගාමී කිරීම මහත් වූ කුසලයකි.

අගනුවරට සමීප නාගරික ප්‍රදේශයක පදිංචි ඇය ලාලනී නම් වූවාය. වයසින් තිස් අට හැවිරිදි වූවාය. ඇයට බඩේ රුජාවක් වැලඳී මහත් වේදනාවකින් පෙළුණා ය. ඉංගී‍්‍රසි සිංහල ප්‍රතිකාර ගත් නමුත් සුවයක් නොලැබුවා ය. වෛද්‍යවරුන්ගේ නියමය පරිදි විශේෂ රෝග පරීක්ෂාවලට ලක් වුවද ඇයට රෝගාබාධයක් ඇතැයි වාර්තා නොවී ය.

ලාලනීට කිසිදු කායික රෝගාබාධයක් නැතැයි වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වීම නිසා මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වූවාය. මාස ගණනක් එයින් ද ප්‍රතිකාර ගත් නමුත් එයින් ද සුවයක් නොලැබීම නිසා ආධ්‍යාත්මිය ප්‍රතිකාර සඳහා යොමු වූවාය.

එහි දී බුද්ධ වන්දනාවට යොමු කළ විට ලාලනී අඬන්නට වූවාය. වෙව්ලන්නට වූවාය. ඇයට මළගිය කෙනෙකුගේ භූතාත්මයක බලපෑමක් ක්‍රියාත්මක වන බවත්, එය බෞද්ධ පිළිවෙත්වලට අකැමැති බවත් පැහැදිලි විය.

“කව්ද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නෙ?”

“මම මාලනී”

“මාලනි කියන්නේ කවුද?”

“මම ලාලනීගේ මහත්තයාගෙ අක්කා.”

“ඉතින් ඇයි මේ ලාලනීගේ ඇඟට රිංගා ගත්තේ”

“ඒ මගේ මල්ලිගෙන් පළිගන්න”

“ඇයි මල්ලි මොන වරදක් කළාට ද පළිගන්නෙ?”

“ඒක දිග කතාවක්”

“කමක් නෑ කියන්න බලන්න”

මාලනීගේ භූතාත්මය ලාලනීට ආවිශ්ට වී මේ කියන්න යන්නේ කුමක් දැයි ලාලනීගේ ස්වාමි පුරුෂයා වූ අජන්ත ද පුදුමයෙන් බලා සිටියේ ය. යළිත් ලාලනී තුළින් මාලනීගේ භූතාත්මය කතා කරන්නට වූවාය.

“මහත්තයා! මම මැරුණේ පිළිකා රෝගයෙන්. අවුරුදු ගණනාවක් දුක් වින්දා. අපේ අම්මටයි තාත්තටයි දරුවන්ට හිටියේ මල්ලියි මමයි විතරයි. අම්මයි තාත්තයි දෙන්නා මැරුණට පස්සේ මල්ලිගේ ඉගෙනීම් කටයුතුත් කළේ මම. මම මල්ලිට හරිම ආදරෙන් කටයුතු කළා. මල්ලිගේ සියලු ම වැඩ කටයුතු කර දුන්නේ මම යි.

මම ඒ තරමට ම ආදරෙන් තමයි මල්ලිව උස් මහත් කළේ. මේ වගකීම් නිසා මට විවාහයක් කරගන්න ලැබුණෙත් නෑ. මල්ලිට රස්සාව ලැබිලා වැඩිකාලයක් ගත වුණේ නෑ. එයා මාලනීව කසාද බැඳලා ගෙදරට එක්ක ගෙන ආවා. මල්ලිට රස්සාව ලැබුණු හැටියේ කසාද බඳින්න හදිස්සි වුණා. මට විවාහයක් කර දෙන්න ඕනැයි කියන හැඟීම මල්ලි තුළ තිබුණේ නෑ.

මොනවා කරන්න ද මමත් පරාජය බාර අරගෙන ඉවසා ගෙන හිටියා. අන්තිමේ ඒ ජෝඩුව රස්සාවලට ගිහින් එන කොට මම මගේ ම ගෙදර වැඩ කාරියක් වුණා. ඒත් මල්ලිට තියෙන ආදරේ නිසා මම සියල්ල ඉවසා ගෙන හැම දෙයක් ම කළා.”

“මේ අතරේ තමයි මම අසනීප වුණේ. කොයි තරම් ප්‍රතිකාර ගත්තත් සනීප වුණේ නෑ. අන්තිමේ තමයි දැන ගත්තේ මට පිළිකාවක් හැදිලා බව. ඊට පස්සෙ මාව මහරගම පිළිකා රෝහලට ගිහින් දැම්මා. ඒ වන විට මම හොඳට ම දුර්වල වෙලයි හිටියේ. වෛද්‍යවරු කීවා ලෙඩාට හොඳට ම අමාරුයි. තව ටික දවසක් හරි ජීවත් කරවන්න නම් ලේ දෙන්න ඕනෑ ය කියා. මට උවමනා වුණේ ‘ඕ’ පොසිටිව් වර්ගයේ ලේ. මම දැනගෙන හිටියා මගේ මල්ලි ගේ ඇඟේ තියෙන ලේ වර්ගයත් ‘ඕ’ පොසිටිව් බව. සමහරු කීවා දැන් ලෙඩාට අන්තිමයි. ලේ දෙන එකේ තේරුමක් නෑ කියලත්.”

“ඒත් මම තව ටික දවසක් හරි ජීවත් වෙන්න ආසාවෙන් හිටියේ. මම මෙච්චර ආදරෙන් හදා වඩා ගත්ත මගේ මල්ලි අජන්ත මට ලේ දේවි ය කියා මම විශ්වාස කළා. ඒත් මල්ලි මට ලේ දුන්නෙ නෑ. මගේ පණ යන මොහොතෙත් මල්ලි මාව බලන්න ඇවිත් හිටියා. මම හිටියෙ හරිම දුකෙන් වගේ ම තරහකින්. ඒත් අන්තිමේ මම මල්ලිගෙන් ඇහුවා ‘ඇයි බුදු මල්ලියේ මට ලේ දුන්නේ නැත්තෙ?’ කියා. ඒ එක්ක ම වගේ මගේ අන්තිම හුස්ම ටික පිටවුණා.”

ලාලනීට ආවිශ්ට ව සිටි භූතාත්මය කෝපයෙන් කෑගසන්නටත් දත් සපන්නටත් වූවාය.

“මම තෝ වෙනුවෙන් මගේ මුළු ජීවිතේ ම කැප කළා. තෝ සහෝදරයෙක් නෙමෙයි.” කියමින් කෝපයෙන් කතා කරන්නට වූවාය. “හරි හරි ඉතින් කතාවෙ ඉතුරු ටිකත් කියන්න කෝ” යි භූතාත්මයට නියම කැරිණි.

“ඉතින් වෙන මොකුත් නැහැ. මම මළා. මම මුගෙන් පළිගන්නවා. මට ලේ ටිකක් දුන්නා නම් මම තවත් ටික දවසක් හරි ජීවත් වෙනවා. මම මළේ මූ ලේ ටිකක් නොදුන් නිසයි. මම මූවත් මරා ගෙන අරන් යනවා. පළි ගන්නවා.”

“එහෙම කියලා හරියන්නේ නෑ. මේ ශරීරය අතහැරලා යන්න ඕනෑ.”

“බෑ බෑ මම යන්නෙ නෑ. පළි අරගෙන මිසක්. යන්නේ නෑ” යි කියමින් භූතාත්මය ලාලනීගේ ශරීරයෙන් ඉවත්ව ගියාය.

“මේ භූතාත්මය තදබල වෛරයකින් ඉන්නේ. ඒ වගේ ම ලේ උරුමක්කාරියක්. ඒ නිසා දින විසි එකක් බෝධි පූජා පවත්වා එන්නැ” යි ලාලනීටත් අජන්තටත් උපදෙස් ලැබුණි.

බෝධි පූජා දින විසි එකෙන් පසුව දෙදෙනා යළිත් ප්‍රතිකාර කළ ස්ථානයට පැමිණියහ. ලාලනී නැවතත් ප්‍රලය වූවාය. “මාලිනී දැන් කොහොම ද? මේ ශරීරයෙන් ඉවත් වෙලා හොඳ තැනකට යන්න.”

“ඒ කොහොමද මම හොඳ තැනකට යන්නෙ?”

“අපි මේ අයට කියලා දානයක් දීලා පින් අනුමෝදන් කරවන්නම්”

“බැහැ. බැහැ. ඊට කලින් මට කරවල බැදුමක් කන්න ආසයි.”

“දුප්පත් මහලු කාන්තාවන් සත් දෙනකුට කරවල බැදුම් සහිතව බත් පාර්සල් හතක් පිරිනමා නැවත බෝධි පූජා තුනක් පවත්වා පැමිණෙන ලෙස නියම කැරිණ.

නියම කළ පරිදි කරවල බැදුම් සහිතව ආහාර පරිත්‍යාග කොට, බෝධි පූජාවෙන් පසු පින් අනුමෝදන් කළ අජන්ත ලාලනී සමඟ නැවත පැමිණියහ.

“කොහොමද කරවල බැදුම් ලැබුණා ද?”

“ඔව්! ඔව්! ඒ ඔක්කොම හරි”

“එහෙනම් දැන් මේ ශරීරයෙන් ඉවත් වෙලා හොඳ තැනකට යන්න.”

“එහෙම යන්න බෑ”

“ඇයි මේ තරම් හිතුවක්කාර”

“හිතුවක්කාර නොවෙයි. මට පොරොන්දුවක් වෙන්න ඕනෑ.”

“මොකක්ද පොරොන්දුව?”

“මූ බීලා ඇවිත් හැමදාම මේ ලාලනී නංගිට ගහනවා. මම බලාගෙන ඊයෙ හැන්දෑවෙත් බෝධි පූජාව තියලා නංගි ගෙදර ආපු හටියෙ මූ රංඩු කළා. නංගිට ගැහුවා. කළගුණ නොදත් බල්ලා. මට ලේ ටිකක් දුන්නේ නෑ. ඒ වේදනාවෙන් තමයි මම මළේ. මගේ බඩේ තමයි පිළිකාව තිබුණේ. ඒ වේදනාව තමයි ලාලනී නංගිට හැදුණේ.

මම බොරැල්ලෙ බස් ස්ටෑන්ඩ් එකේ බෝධියට යන්නම්. එතන දවස් විසි එකක් බලා ගෙන ඉන්නවා. මූ දැන් දිව්රලා පොරොන්දු වෙන්න ඕනැ අදින් පස්සෙ බොන්නෙ නෑ කියලා. මූ මත්පැනින් වැළකී, ගෙදර රණ්ඩු නොකර හොඳ මිනිහෙක් වුණොත් ඒ දින විසි එකෙන් පසුව අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට යනවා නැත්නම් ආයිත් එනවා” යි භූතාත්මය කීවාය.

අදින් පසු මත්පැන් පානය නොකරන බවට අජන්ත දිව්රා පොරොන්දු වූයේය. එයින් පසු ලාලනීගේ උදරයේ වේදනාව සුවපත් විය.

මරණාසන්න අවස්ථාවේ ඇතිවන චුති චිත්තයේ ප්‍රබලතාව මෙයින් මොනවට පැහැදිලි වේ.



author

මෙම ලිපිය රචනා කලේ :


මළවුන්ගේ හෝරාව(Malaunge Hoorawa)


බයිසිකලයට නැඟි හොල්මන


ජනිත් කියන්නේ යකෙක්ටවත් බය නැති තරුණයෙක් කිව්වොත් හරි ඒ වගේම හරි දැඩි හිතක් ඔහුට තිබුනා .වෙලාවක් අවේලාවක් තැනක් නොතැනක් නැතිව ඕනෑම තැනකට හිතේ චකිතයකින් තොරව යන එන ජනිත් වගේ කෙනෙක් හොල්මනකට බය උනා කියන ඒක හිතාගන්න බැරි දෙයක්
.... එහෙත් ඒක සිදු උනා...


අපේ ගමේ සැලුන් ඒක කියන්නේ හවසට කොල්ලන්ගෙන් පිරිලා ඉතිරිලා යන තැනක්.. ඔක්කොම එන්නේ කොන්ඩේ කපගන්නමත් නෙමෙයි .. සැලුන් ඒක පිටි පස්සට වෙලා පොඩි අඩියක් එහෙම ගහන්න සෙට් වෙන්නත් එක්ක ...


කාටත් හොරෙන් ඔතනට සති අන්තයේ සෙට් වෙන කොල්ලෝ දෙතුන්දෙනා හෝ හත් අට දෙනා ... අයෙමත් ඔතනින් පිට වෙලා ගෙවල් දොරවල් වලට යන්නේ මහා රැ එකොළහ දොළහ වෙලා..එතෙනකල් බොනවමත්ම එහෙම නෙවේ.. ඒක ඒක මතෘකා අතර දිව යන කතාවල අවසානයක් දකින තුරු ගෙවල් ගැන මතකයක් නැති වීම නිසයි...

ඔන්න ඒක දවසක් උදේ අමුතු කතාවක් ගම පුරා පැතිරුනා ජනිත් අවතාරයකට බයවෙලා කියලා.. තවත් සමහර උන් කිව්වා ජනිත් කොලුවට යකෙක් ගහලා කියල.. ජනිත් කියන්නේ යකෙක් ගහන්න ආවත් යාකාට උනත් ගහල යන තරමේ එකෙක් කියලා මම දන්නා නිසා මුලින් ඔය කතාව පිලිගන්නත් ටිකක් මැලි උනා.. කෝකටත් ඇත්ත නැත්ත බලාගන්න අපිත් ගියා ජනිත්ගේ ගෙදර..

ගේ පිරෙන්න සෙනග.. ජනිත් කාවවත් අදුරන්නේ නැහැ වගේ ඉන්නේ. ඒක පාරම දගලන්න ගන්නවා. කවුරු හරි ඌව මරන්න එනවා වගේ .. ජනිත්ගේ මූන බලපුවම මට පෙනුනේ මොකක් හරි දෙකට නොසැහෙන්න බය වේලා ඉන්න විත්තියක්..
ඒ මදිවට වටේටම යන්ත්‍ර මන්ත්‍ර දන්නා අය පිරිලා.. අතේ නුල් ගැට ගානවා .. වතුර වලට මතුරලා මුනට ඉහිනවා . ඒක විකාරයයි .. එත් ජනිත් නෙමේ ඒ එකකටවත් සැරෙන්ඩර් වෙන්නේ . ..
මේක බලාගෙන ඉන්න බැරි තැන මම උන්ගේ අම්මා ලගට ගිහින් කථා කළා.. උන්දැත් මහා මේර ඔලුවේ තියාගෙන ඉන්නවා වගේ හරි අසරණ කමකින් හිටියේ.

නැන්දේ අපි ජනිතව දොස්තර කෙනෙක් ලගට එක්ක යමුද?

මේවට දොස්තර බෙහෙත් හරියන්නේ නැහැ පුතේ.. කොලුවට . අමනුස්ස දෝෂයක්.

මොකද නැන්දේ උනේ….

කොලුවා පාන්දර 1 ට විතර බිසිකල් ඒකත් තල්ලු කරගෙන අව සිහියෙන් වගේ කියව කියව ඇවිත් තියෙනවා.. එත් එක්කම බයිසිකලෙත් එක්කලම වැටිලා . ඔලුව ගලක හැපිල සිහි මුර්ජා වෙලා .. එහා ගෙදර බේකරියේ වැඩ කරන කොලුවා එලියට ආව වෙලාවේ තමයි මේක දැකල තියෙන්නේ. ඌ කියනවා හය්යෙන් දොඩව දොඩව . දගල දගල ඇවිත් වැටුනලු..
එයිට ටික වෙලාවකට පස්සේ සිහිය ආවත්. කාටදෝ බයෙන් දගලනවා. කොලුවා රැ මැදියමේ තනිපංගලමේ ඇවිත් මොකකට හරි බයවෙලා පුතේ..

ගොඩ කාලයක් යනකල් ජනිත් ට නොයෙක් විදියේ ප්‍රතිකාර කළා. යන්ත්‍ර මන්ත්‍ර අතින් . එහෙම කරලා කාලයක් යනකොට සාමාන්‍ය තත්වයට පත් උනා .. ඒ ත් අපි කව්රුත් එයාගෙන් අර සිද්ධිය ගැන අහන්න ගියේ නැහැ. මොකද අයෙමත් ඔය ගැන මතක් කරන එකෙන්. ජනිත්ගේ අසනීප තත්වය නරක් වෙයිදෝ කියන බයට .

එත් දවසක් මම ජනිත් එක්ක රැයක කථා කර කර ඉන්න කොට මට හිතුනා නිකමට වගේ එදා සිද්දිය අහල බලන්න.

ජනියා මොකෝ බං උබට එදා උනේ උබ හොල්මනක් දැක්කද?

ඒක ඇහුව විතරයි ජනිත් .. අස් ලොකු කරලා මගේ දිහා බලාගෙන හිටියා ටික වෙලාවකට.. සමහර විට එදා උන බියකරු සිදුවීම නැවතත් ජනිත්ට මැවී පෙනෙන්න ඇති...

මෙතැන් සිට ජනිත්ගේ වචනයෙන්..

එදා අපි පිටත් වෙනකොට ටිකක් රැ වුනා .. කඩින් කඩ වැස්සක් කුත් තිබුනනේ.. කොහොම හරි අපේ පැත්තට යන්න හිටියේ වෙනද වගේම මම විතරයි.. මට ඉතින් ඔය පාරේ රැයක දවලේක වෙනසක් නැහැනේ . නිතරම යන එන පාර.....

( ජනිත් ලගේ ගෙදරට යන පාර සැලුන් එක ලග ඉදන් කියනවනම්.. සැලුන් එක තියෙන්නේ තුන්මං හන්දියක... එතන ඉදලා කෙලින්ම උඩහට යන පාරේ යන්න ඕනේ ජනිත් ගෙදර යන්න.. වෙල් යායක් මැදින් වැටුන පාරක ටික දුරක් ගිහින්.. පුංචි කදු පාරකට වැටෙනවා.. ඒ පාරේ එක පැත්තක තියෙන්නේ ලොකු පොල් වත්තක්... ඔය පාරේ අවසානයේ තියෙන්නේ සොහොන් පිට්ටනිය....ඒ හරියේ ගෙවල් එහෙම නැහැ.. පාලුවට ගිය වත්තක් තියෙන්නේ..සොහොන් පිට්ටනිය ඉස්සරහින් හැරිලා යන ගුරු පාරේ යනකොට පාර දෙපැත්තේම විශාල ගස් වැවුණු ..ප්‍රභූ පවුලකට අයත් ඉඩමක් තියෙන්නේ .. ඔය පාර. මහා දවල්ටත් හරි අදුරුයි .. මුසල පාටයි...
ඒ පාරේ කෙලවරින් පොඩි කදු ගැට්ටක් උඩට නගිනකොට තමයි ජනිත්ලගේ ගෙදර තියෙන්නේ... )

පොද වැස්සේම මම ගෙදර යන්න එලියට බැස්ස... ඉතුරු බයිට් ටිකත් උරේක දාලා බයිසිකලේ හැඩල් එකේ එල්ල ගත්තා යනකොට කකා යන්න කියල... හිකිස්‌.. එක තමයි මට වැරදුනේ....
වෙල පහු කරලා . කන්ද හරියේ මම සිකලෙන් බැහැල තල්ලු කරගෙන කන්ද නගිනකොට මට නිකන් අමුත්තක් වගේ තේරුනා .. නිකන් මගේ පිටි පස්සෙන් තව හතර පස් දෙනෙක් ඇවිදගෙන එනවා වගේ..හැරිලා බැලුව තුන් හතර වතාවක්ම එත් මොකෙක්වත් නැහැ.. අඩු තරමේ බල්ලෙක් වත් පාරේ නැහැ...
එහෙම බයිසිකලෙත් තල්ලු කරගෙන ටික දුරක් කන්ද නගිනකොට .. පොල් වත්තේ කෙලවරේ ඉදලා බල්ලෙක් අමුතු තාලෙකට එක දිගටම උඩු බුරන්න ගත්තා .. මගේ හිතටත් හරි අමුත්තක් තේරුනා ඒ වෙලාවේ...

එතකොට තමයි මතක් උනේ බයිසිකල් එකේ ඉස්සරහා එල්ලගෙන ඉන්න උරේ තියෙන්නෙත් පුළුටු නේද කියලා.. ඒ උරෙත් ගලවලා පාරට විසි කරලා...ඉක්මන් කරලා ගෙදර යන්න ගිතාගෙන මම සිකලේට නැගලා කන්ද පදින්න ගත්තා..

කන්ද උඩටම යනකන් අයේ කිසිම සද්දයක් තිබුනේ නැහැ.. ඇතින් උඩු බුරන බල්ලාගේ සද්දේ ඇරෙන්න ..

මේ අතර පොද ගහමින් තිබුන වැස්ස ටිකක් වැඩි වෙමින් තිබුනා . මම සොහොන් බිමත් පහු කරගෙන ඉස්සරහට යනකොට... එක පාරටම සයිකලේ දෙපැත්තට පැද්දෙන්න ගත්තා ..හරියට නිකන් පිටිපස්සේ රෝදේ හුලන් බැහැලා වගේ.. මම සයිකලේ පදින ගමන් පිටිපස්සේ රෝදේ දිහා බල බල අවේ හුලන් බැහැලවත්ද කියල.. එත් එහෙම වෙනසකුත් නැහැ...
බයිසිකලේ ඉස්සරහට යන්නේ නැති තරම් බරයි..
මම පිටි පස්ස බලලා අයෙත් ඉස්සරහ බලනකොට...දැක්ක දේ මතක් වෙනකොටත් මාව තාම ගැහෙනවා.. තඩි කළු මහත මිහිහෙක් මගේ බයිසිකලේ පොල්ල උඩ ඉදගෙන...ඒ මිහිනගේ මුළු ඇගම තෙමිලා.. කළු පාට කෝට් එකක් ඇදගෙන උන්නේ .. ඉස්සරහ බලාගෙන හිටපු නිසා මුණ පෙනෙන්නේ නැහැ..

මම බයට පුළුවන් තරම් හය්යෙන් කැගැහුවා .. එත් බයටම උගුර කට වේලිලා.. සද්දේ පිටවන්නේ නැහැ.. මම මොකක්ද කරන්නේ මොකක්ද කරන්න ඕනේ කියලා මට හරියකට තේරුමක් නැතුව ගියා. බයටම..
මම පුළුවන් තරම් හය්යෙන් බයිසිකලේ පැද්දා..පදින්න බැරි තරම් බයිසිකලේ බරයි..එත් බයටම මම හය්යෙන් පැදගෙන ආවා.. පාළු පාර දිගේ...ඉස්සරහ ඉන්න කෙනා එහෙම්මම ඉන්නවා හෙලවෙන්නේවත් නැතුව ...බයිසිකලේ පොල්ල උඩ ඉදගෙන..

කොහොම හරි මම අවසිහියෙන් වගේ පැදගෙන ආවා . අපේ ගෙවල් ගාව කන්ද මට පැදගන්න බැරි උනා..වැස්සේ උනත් මුළු ඇගම මගේ දාඩියෙන් පෙගිලා හිටියේ.. එතකොටයි මම දැක්කේ . ඒ මිනිහගේ කකුල් දෙක නැහැ. දනිස්සෙන් පහලට කකුල් නැහැ. ඊට පස්සේ මම මෙතුවක් කාලෙකට ජිවිතේ දැක්ක භයංකාරම දසුන දැක්ක...

ඉස්සරහා බලාගෙන හිටපු කෙනා මගේ දිහා බැලුවා... මුළු ශරීරයම ඉස්සරහට හැරිලා තියෙනකොට.. බෙල්ල විතරක් සම්පුර්ණයෙන්ම හරවලා මගේ දිහා බැලුව...හරියට එම්බාම් කරලා කුණු උන මිනියක් වගේ .. මුළු මුනේම කැලි ..කැලි. ගැලවිලා කුණු වෙලා .. ඇස්දෙක එලියට පැනල ..රතුම රතු පාටයි...


මම පුළුවන් තරම් හයියෙන් කෑගහගෙන.. අපේ ගෙවල් පැත්තට දිව්වා.. මම ඒ වෙලාවේ හිටියේ පියවි සිහියෙන් නෙමේ වෙන්න ඇති... එතනින් එහාට කිහිම දෙයක් මට මතක නැහැ...


කොහොම උනත් හොල්මන් අවතාර කියල දෙයක් නැහැ කියලා හිතාගෙන හිටපු මගේ ඒ අදහස වෙනස් උනේ.. ජනිත් කිව්වා ඒ සිද්දියෙන් පස්සේ තමා..
කව්රු කොහොම කිව්වත් . පියවි ඇසට නොපෙනෙන ලෝකයක් තියෙනවා..



author

මෙම ලිපිය රචනා කලේ :


මළවුන්ගේ හෝරාව(Malaunge Hoorawa)


කෙම්මුර දවසේ මහ රෑ නිවසට එන කාන්තාවක්


මීගමුව ප‍්‍රදේශයේ විශාල පොල් රුප්පාවක් මැද පිහිටි ඉපැරණි සුවිසල් නිවෙසක් පිහිටා ඇත. රෑ ජාමයේ තඩි කළු බල්ලකුගේ හා මිය ගිය ප‍්‍රාණකාරයකුගේ අවතාරය මීගමුව ප‍්‍රදේශයේ පිහිටි මේ නිවසේ කෙම්මුර දවස්වලට සැරිසරන බව අපට දැන ගැනීමට ලැබුණේ ඒ ප‍්‍රදේශයේ සිටින හිතවතකුගේ මාර්ගයෙනි.
මාරවිල මූලික රෝහලේ මනෝ වෛද්‍ය ප‍්‍රියන්ත ගාමිණී ජයසිංහ සහ ගලගෙදර දිසා රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය යන මහත්වරුන්ට මේ තොරතුරු දැනගැනීමට ලැබීමෙන් පසුව මීගමුව ප‍්‍රදේශයේ පිහිටි නිවසට ගොස් පර්යේෂණයක් කිරීමට තීරණය කර ඇත.


කෙම්මුර දිනක මේ කියන නිවසට ගොස් රාත‍්‍රියක් ගතකර විද්‍යාත්මක පර්යේෂණයක් කිරීමට තීරණය කර ඒ නිවසේ හිමිකරුගේ පුතකුට දුරකථනයෙන් කථාකර අවසර ඉල්ලා සිටියත් ඔහු එය කාරුණිකව ප‍්‍රතික්ෂේප කර නැති තාත්තා එයට කොහෙත්ම කැමති බව පවසමිනි. පවුලේ අය මේ තීරණය වෙනස් කිරීමට කරුණු පහදාදී වෛද්‍යවරුන් දෙදෙනා කිහිපවරක්ම උත්සාහගෙන ඇතත් එය ව්‍යවර්ථවී තිබේ. අපේ මහගෙදර කාලයක ඉඳලා නොසිතන දේ සිදුවන බවත් කරන කියන දේ හැම එකක්ම පාහේ අඩාලවෙන බවත් මේ නිසා කට්ටඩියකු ගෙනවිත් ශාන්ති කර්මයක් කළ බවත් මනෝ වෛද්‍ය ගාමිණී ජයසිංහ සහ වෛද්‍ය ජනක ජයසූරිය යන මහත්වරුන් අවස්ථා දෙකකදී මීගමුව ප‍්‍රදේශයේ පිහිටි මේ නිවසේ අයිතිකරුගේ පුතා සමග කළ දුරකථන කතාබහේදී පැවසූ බව වෛද්‍යවරු දෙදෙනා පවසති.
කෙසේ වෙතත් මේ ගැන තොරතුරු සොයා බැලීමට අපි පසුගිය දිනක ඒ ඉපැරණි නිවස පිහිටි ප‍්‍රදේශයට ගියෙමු.


කළු තඩි බල්ලෙකුගේ හා මියගිය ප‍්‍රාණකාරයකුගේ ආත්මයක් සැරිසරන බව කියන මේ නිවසට ගොස් පර්යේෂණයක් කිරීමට ඒ ගෙදර පිරිස අකමැත්ත ප‍්‍රකාශ කිරීම නිසා අපි ඒ ගමේ පදිංචි කිහිප දෙනෙකු හා ඒ පවුලට සමීප කිහිපදෙනකු හමුවී කතාබහ කර තොරතුරු සොයා බැලූවෙමු.
ඔය ගෙදර හිටපු ලොකු නෝනා මීට අවුරුදු 3කට 4කට විතර කලින් මිය ගියා. එයා කාලයක් රෝගාතුර වෙලා ඉඳලා තමා මිය ගියේ. ඒ නෝනාගේ ආත්මය තමා ඔය ගෙදර හොල්මන් කරන්නෙ යැයි පවසන්නේ කළු තඩි මහත බල්ලකුත් ඔය ගෙදර හොල්මන් කරනවා. මේ තොරතුරු අපි දැනගත්තේ ඒ ගෙදර ඉන්න මෙහෙකාරයාගෙන් යැයි අප සමග හොල්මන් ගෙදර තොරතුරු හෙළිකල ගම්මුන් කිහිප දෙනකු කියා සිටියේ ද තැතිගත් ස්වරූපයකිනි.


මේ සුවිසල් නිවස පිහිටි ඉඩමට මායිම්ව කොළඹ සිට පුත්තලම දක්වා ඕලන්ද ඇළද ගලා බසින අතර බොහෝ දෙනෙක් අතර මෙය ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ පාරු ඇළ යන නමින්ය.
මේ කියන නිවස පිහිටි ඉඩම මායිම්ව ගලා බසින පාරු ඇළට නුදුරින් වළක් පිහිටා තිබෙන බවත් මෙය වළක් ආකාරයට වර්තමානයේ දිස්වූවත් ඒ වකවානුවේ මෙය පාරු නවතා තබන තොටුපොළක් බව පැවසුවේ ගමේ කරුණුකාරණා දන්නා වැඩිහිටියන් කිහිපදෙනෙකි.


ඔය කියන පාරු තොටුපොළ පිහිටලා තියෙන්නේ අර ඉඩමේම කොටසකයි. ඔය පාරු තොටුපොළේ රත්තරන්වලින් හදපු පාරුවක් තිබිලා පසුව ඒ රත්තරන් පාරුව පොළව යටට කිඳා බැහැලා කියලා ගම්මුන් අතර ලොකු විශ්වාසයක් තිබෙන බව අප සමග කථා බහ කළ ගමේ උදවිය කිහිපදෙනෙක් කීහ.
මේ ගෙදර මෙහෙකාර වෘත්තියේ නිරතව සිටින පුද්ගලයාට ඇතැම් දිනවල රෑට කළු තඩි බල්ලෙක් ගෙදර එහා මෙහා යන හඬත් ඌ බුරන හඬත් ඇසී ඇත.
තවත් සමහර දිනවලට යමෙක් ඇවිදින අඩි ශබ්දය ද මහ රෑ ඇසෙන්නට පටන්ගෙන තිබේ.
මෙහෙකාරයාට අමතරව මේ ගෙදර සිටින්නේ ගෙදර අයිතිකරුය.
කළු තඩි බල්ලෙක් ගෙදර එහා මෙහා ඇවිදින බව කියන නිසාත් යමෙක් ඔබ මොබ යන අඩි ශබ්ද කාලයක සිට ඇසෙන නිසාත් ගෙදර අයිතිකරු හා මෙහෙකාරයා ලොකු පීඩනයකට හා බියකට පත්ව ඇත.
ශාන්ති කර්මයක් කර මේ භූත දෝෂ පලවා හැරීම සඳහා පසුගිය දිනක කට්ටඩියෙක් පිට පළාතකින් ගෙනවිත් ඇත.
නිවසේ ඇති යක්ෂ පේ‍්‍රත බැල්ම පලවා හැරීම සඳහා යාතු කර්මයක් කර සෙත් ශාන්තියක් කිරීමට අවශ්‍ය අඩුම කුඩුම ගෙන ඒම සඳහා ගොස් ඇත්තේ නිවසේ මෙහෙකාර වෘත්තියේ නිරතව සිටින තැනැත්තාය.
කඬේට ගොස් අවශ්‍ය කළමනාගෙන එන අතරවාරයේ මෙහෙකාර වෘත්තියේ නිරතව සිටින පුද්ගලයා අතරමගදී කසිප්පු තිප්පොලකට ගොස් හින් අඩියක් ද ගසා නිවසට පැමිණ ඇත.
සෙත් ශාන්තියක් කිරීමේදී පේවී සිටිය යුතු වුවත් කසිප්පු බීගෙන පැමිණි නිසා උරණවූ ගෘහ මූලිකයා මෙහෙකාරයාට කන රත්වෙන්න පහරක් ගසා ඇත්තේ හිතේ තිබූ කේන්තිය පහව යන්නත් එක්කය.ශාන්ති කර්මයක් කර සියලූ වස් දොස් නැති භංග කර දැමීම සඳහා පැමිණි කට්ටඩියාට ද කේන්ති ගියේ මේතරම් හොඳ වැඩක් කරන්න තියෙද්දී ගෙදරම ඉන්නා කෙනෙක් කසිප්පු බී ගෙදර පැමිණි නිසාය.
මෙහෙකාරයාට බිම දණ ගසා වැඳ ගැනීමට නියෝග කර කට්ටඩියා මොනවදෝ මුමුනමින් ඔහුගේ (මෙහෙකාරයාගේ) කණට කටින් පිඹ ඇත.


කට්ටඩියා කණට පිම්බාම මගේ කකුල් දෙක පණ නැතිව ගියා වගේ තේරුණා. එතැනින් එයාට වෙච්චි දෙයක් මට මතක නැහැ. මම දණ ගහගෙන වැඳගෙන ඉන්න බවත් එහෙම වුණේ කට්ටඩියා මතුරා මගේ කණට පිම්බ බව දැනගත්තු නිසාත් ගෙදර ශාන්ති කර්මයේ වැඩට උදව්වෙන්න ඇවිත් හිටිය ගමේ කෙනෙක් මර හඬ දීලා කෑගහලා තියෙනවා. ඒ කෑගැසීම ඇසුණු ගමේ කට්ටියක් දුවගෙන ආවා. පස්සේ මගේ කකුල් දෙකට ප‍්‍රාණයක් ආවා. මා නැගිට විනාඩි කිහිපයක් යනකම් මගේ කකුල් දෙක දණිහිසෙන් පහළ පණ නැතිව වගේ හිටියේ යැයි මෙහෙකාර වෘත්තියේ නිරතව සිටින තැනැත්තා එතැනට දුවගෙන ආ ගම්වාසීන්ට පවසා ඇත්තේ බියෙන් වෙව්ලමිනි.


මේ සිද්ධිය ගමපුරා ලැව් ගින්නක්සේ පැතිර යාමට වැඩි වේලාවක් ගතවී නොමැත.
ගමේ ඇතැම් උදවිය කියන්නේ රත්තරන් පාරුව ගොඩ ගැනීමට බිලිපූජාවක් පවත්වන්නට ගිය බවය.
එහෙත් එවැන්නක් මෙතැන සිදුවී නොමැති බවත් ගෙදර ඇතැයි කියන අමණුශ්‍ය දෝෂ නැති කිරීම සඳහා ශාන්ති කර්මයක් කිරීමට සූදානමක් පැවති බවත් ගමේ තවත් ඇතැම් දෙනෙක් පැවසූහ.
කරුණු කාරණා කෙසේ වුවත් මේ සිද්ධිය හරහා ගම තුළ ඇතිවූයේ ලොකු කැළඹීමකි. එහෙත් දැන් ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇතත් මේ ගෙදර අවතාර හොල්මන් තිබෙන බවට ගම්මු බොහෝදෙනෙක් අදටත් විශ්වාස කරති.




author

මෙම ලිපිය රචනා කලේ :


මළවුන්ගේ හෝරාව(Malaunge Hoorawa)


මෝහනය ගැන ඔබ නොදත් දේ...

මෝහනය, බොහෝ දෙනෙක් කුතුහලයෙන් යුතුව කතා කරන මාතෘකාවක්. ඒ වගේම දීර්ඝ කාලීනව මානසික ගැටළු වලින් පෙලෙන අය ගොඩක් වෙලාවට අහන දෙයක් තමයි "මේ අසනීපෙ මෝහනය කරලා සනීප කරගන්න බැරිද?" කියන කාරණය. මෙහෙම අහපු හැම කෙනෙක්ටම පිළිතුරක් විදියට අද මළවුන්ගේ හෝරාව පිටුවෙන් කතා කරන්නේ මෝහනය ගැන.

මෝහනය කියන්නේ මොකක්ද?

ඇමෙරිකානු මනෝවෛද්‍ය සංගමයේ අර්ථදැක්වීම අනුව ගත්තාම මෝහනය කියන්නේ "Hypnosis is a procedure involving cognitive processes (like imagination) in which a subject is guided by a hypnotist to respond to suggestions for changes in sensations, perceptions, thoughts, feelings, and behaviors." සරලව කිව්වොත් මෝහනය (Hypnosis) කියන වචනය හැදිලා තියෙන්නේ Hypnos කියන ග්‍රීක වචනයෙන්. ඒකෙ තේරුම "නින්ද" කියන එක. මෝහනයේදී කෙරෙන්නේ මෝහනවේදියා විසින් මෝහනයට පත්වෙන පුද්ගලයා (සේවාලාභියා) ගැඹුරු සහ සැහැල්ලු නින්දක් වැනි මානසික අවස්ථාවකට පත්කිරීම. ඇතැමුන්ට අනුව එහිදී සේවාලාභියා සවිඥානික නොවන අවස්ථාවකට (Trance) පත්කරනු ලබනවා. කෙසේ වෙතත් තවමත් මෝහනයේදී සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව විවිධ විද්‍යාඥයින් විවිධ මත දරනවා.


කෙසේ වෙතත් මේ අවස්ථාවේදී සේවාලාභියා තමන් අරමුණු කරගෙන සිටින දෙයට අසාමාන්‍ය ලෙස ප්‍රතිචාර දක්වනවා. බොහෝවිට ප්‍රතිකාරාත්මක මෝහනයේදී අරමුණු කරන දෙය වෙන්නේ මෝහනවේදියා විසින් ලබාදෙනු ලබන උපදෙස් සහ යෝජනා. ඒවා සඳහා සේවාලාභින් හොඳින් ප්‍රතිචාර දක්වනවා. එහෙත් මෝහනවේදියාට සේවාලාභියාගේ මනස සම්පුර්ණයෙන්ම පාලනය කල හැකි වන්නේ නෑ. ඒ වගේම ස්වයං මෝහනය සඳහා පුහුණු කරනු ලැබූ පුද්ගලයන් සිටිනවා. ඔවුන්ට තමන් විසින්ම මෝහන අවස්ථාවට පත්වීමේ හැකියාව පවතිනවා.

ප්‍රතිකාරාත්මක මෝහනය සිදුවන්නේ අදියර දෙකකට. පළමු අදියරේදී සේවාලාභියා මෝහන නින්ද්‍රාවට පත්වීම සඳහා පොළඹවනු ලබනවා. (Hypnotic Induction) දෙවෙනි අදියරේදී අදාල ප්‍රතිකාරාත්මක ක්‍රියාවලිය (යෝජනාකිරීම් වැනි) සිදු කරනු ලබනවා. (Hypnotic Suggestions). පළමු අදියරේදී සේවාලාභියා මානසික සැහැල්ලු අවස්ථාවකට පත් කරමින් යම්කිසි දෙයක් වෙත අවධානය යොමු කිරීමට පොළඹවනු ලබනවා. ඇතැම් විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙලෙස පෙළඹවීම මගින් ඔවුන්ගේ මනස සවිඥානික නොවන (an altered state of consciousness) අවස්ථාවකට පත් වන බවයි. තවත් පිරිසක් මෙයට විරුද්ධව අදහස් පලකරනවා.

දෙවෙනි අදියරේදී සේවාලාභියා තුල අවශ්‍ය වෙනස්කම් සිදුකරගැනීම සඳහා මගපෙන්වනු ලබනවා. එහිදී කායික ක්‍රියාකාරකම්, සිතුවිලි ආදිය වෙනස් කරගැනීම සඳහා සේවාලාභියාට මෝහනවේදියා විසින් යෝජනා ඉදිරිපත් කරනවා. ඒ අනුව සේවාලාභියා එම වෙනස්කම් සිදුකරගන්නවා.



පළමුවෙන්ම මෝහනය ප්‍රතිකාරයක් ලෙස යොදාගත්තේ සිග්මන් ෆ්‍රොයිඩ් විසින්. ඒ අප දැන් "කායරුපි අබාධය" (somatoform disorder) ලෙස හඳුන්වන රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා. මෝහනයේදී පුද්ගලයාගේ යටි සිතේ තැන්පත්ව පවතින අප්‍රසන්න අත්දැකීම් හා මතකයන් වෙත පිවිසීමට හැකියයි ඔහු විශ්වාස කළා. මෝහනය ඔස්සේ ඒවා ඉවත්කිරීම මගින් මෙම රෝගය සුව කල හැකියයි ඔහු ප්‍රකාශ කළා. නමුත් පසුකාලීනව මෙම මතයට එරෙහිව විවිධ මත පළවුණා.

මේ වනවිටත් මෝහනය හා සම්බන්ධ ප්‍රධාන මතභේද දෙකක් පවතිනවා. පළමුවැන්න තමයි මෝහනයේදී පුද්ගලයා පත්වන තත්වය පිළිබඳව ඇති මතභේද. මෝහනයේදී පුද්ගලයා ඇත්තවශයෙන්ම සවිඥානික නොවන අවස්ථාවකට (an altered state of consciousness) පත්වෙනවද යන්න මෙහිදී විවාදයට ගැනෙනවා. දෙවෙනි මතභේදය තමයි පුද්ගලයකු මෝහන නින්ද්‍රාවට පත්වීම සඳහා බලපාන විශේෂ ගති ලක්ෂණ තිබෙනවාද කියන කාරණය. එයට හේතුව තමයි ඇතැම් පුද්ගලයන් මෝහනය සඳහා ප්‍රතිචාර නොදැක්වීම.



ඒ වගේම මෝහනය පිලිබඳ විවිධ මිත්‍යා මත පවතිනවා. ඒවා අතරින් කිහිපයක් තමයි මේ.
මෝහනයේදී පුද්ගලයන්ගෙන් තමාගේ පාලනය ගිලිහෙන අතර මෝහනය කරනු ලබන තැනැත්තාට තමා ලවා ඕනෑම දෙයක් කරවා ගත හැකිය.
මෝහනය වූ පුද්ගලයකුට මෝහනයෙන් මිදීමට අපහසු විය හැකිය.
මෝහනයෙන් බලපෑම් කල හැක්කේ දුර්වල මනසක් සහිත පුද්ගලයන්ට පමණි.
මෝහනය මගින් පුද්ගලයාගේ යමක් නිවැරදිව මතක තබා ගැනීමේ ශක්තිය වැඩි කල හැකිය.
මෝහනය මගින් පුද්ගලයන්ට තමා මීට පෙර අත්විඳි අවස්ථා නැවත අත්විඳීමට හැකියාව ලැබේ.
මෝහනය රඳා පවතින්නේ මෝහනවේදියාගේ දක්ෂතාවය මතය.

මේ ඉහලින් දැක්වෙන සියලුම ප්‍රකාශ පුද්ගලයන් තුල පවතින මිත්‍යා විශ්වාස. නමුත් මෝහනය මගින් ප්‍රතිකාර කල හැකි රෝග පවතිනවා. ප්‍රතිකාර සඳහා මෝහනය ක්‍රම දෙකකට යොදාගන්න පුළුවන්. පලවෙනි ක්‍රමය තමයි සෘජුවම මෝහනය මගින් ප්‍රතිකාර කිරීම. සාමාන්‍යයෙන් මෝහනය යනුවෙන් සමාජයේ හැඳින්වෙන්නේ මේ ක්‍රමය. ඇතැම් මනෝවිද්‍යාඥයින් සහ මනෝවෛද්‍ය වරුන් මෙම ක්‍රමය ඇතැම් අවස්ථාවල භාවිතා කරනවා. දෙවෙනි ක්‍රමය තමයි මෝහනය වෙනත් මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සමග එකට භාවිතා කිරීම. (උදා: ප්‍රජානන චර්යා ප්‍රතිකාර - CBT) එහිදී වෙනත් මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සමග සමාන්තරව මෝහනය භාවිතා කරනවා.

මෝහනය ප්‍රතිකාරයක් විදියට භාවිතා කරන්න පුළුවන් රෝග කිහිපයක් තමයි මේ.
කෙටිකාලීන සහ නිදන්ගත වේදනාව
විවිධ භීතිකා තත්වයන්
පශ්චාත් ව්‍යසන ක්ලමථ සහලක්ෂණය (PTSD) සහ ඒ ආශ්‍රිත ක්ලමථය (Stress).
විෂාදය (Depression)
ආහාර ගැනීම හා සම්බන්ධ ගැටළු
විවිධ මායා රෝග තත්වයන්


නමුත් ලංකාවේ මෝහනය භාවිතා කරන වෛද්‍යවරුන් අඩුයි. ගොඩක් වෙලාවට වෙන්නේ මෝහනය වෙනත් මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සමග එකට භාවිතා කිරීම. නැත්නම් අදාල රෝගය සඳහා භාවිතා කරන්න පුළුවන් වෙනත් මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර පමණක් භාවිතා කිරීම. මේ ප්‍රතිකාර ක්‍රම එකකට එකක් සංසන්දනය කරන්න අමාරුයි. විවිධ ප්‍රතිකාර ක්‍රම විවිධ රෝග සඳහා ඵලදායි ලෙස යොදාගන්න පුළුවන්.




author

මෙම ලිපිය රචනා කලේ :


මළවුන්ගේ හෝරාව(Malaunge Hoorawa)


ShareThis

 
© 2013 සන්හිඳ | Designed by T.O.Y.